එපා සොඳුරිය නෙත් කැළුම් යලි
ඔබේ දෙනුවන්
හමු වූ විගසින්
ප්‍රථම ප්‍රේමයේ
තියුණු කටු තුඩු
පාරවයි හද
සියුම් තැන් සැම….
හමු නොවන්නට
වසා ගනු නෙත්
දිලෙන මුදුවැති
ඔබේ වමතින්….
එපා සොඳුරිය
නෙත් කැළුම් ඔබේ….
වනචර සිත
දම් මළුව පුරාවට
පෙම් උයන් සිරි මවන
පෙම්වතුන් සිල්වත්ය
මගේ හිත වනචරය
බුලත් කොළේ මත තැබූ
සල්ලියට සෙත සදන
තෙදැති බල මහ දෙවින්
හාෆ් ඩේ දමා යති
අමු කැවුනු සැදැහැවත්
මිනිස් කැල පෝලිමේ
නෙක ඵලැති වට්ටි ගෙන
දෙව්ට ෆෘට් සැලඩ් දෙති
තරුණ කෙලි වටකරන්
අනිත්‍යයේ දහම් දෙන
සාදු හරි සිල්වත්ය
මගේ හිත වනචරය
විරහව සහ සොම්නස…
නැත… සොඳුර… නැත….
මා මේ මධු බඳුන් සිස් කරනුයේ
නුඹ, මා හැරදමා ගිය
දොම්නස අමතක කෙරුමට නොව…
මධු බඳුන් විසි කරනු යැයි
මා අස සිට කඳුළු සලනට
දැන් කිසිවෙකුත් නැති
හරි අපූරු රටක් තියෙනවා ඕයි!
වෙන විශ්වෙක ඈත කොනේ
හරි අපූරු රටක් වෙතේ
හොරු රකින්න නීති ඇතේ
හොඳ වැඩ එහෙ කළොත් හිරේ
ආගම රැස රකින ලෙසේ
‘සේනා’ නම් නමක් ඇතේ
නීතිය ගෙන අතට සැපේ
උඩට යටට වනනු ඇතේ
හරකුන් හිස ගසනු නැතේ
අහු උනොතින් මරනු ඇතේ
බාබකියු ය රෑට සැපේ
කැහැටු කුකුළ් නිවන් යතේ
කාකි ඇඳුම් එහෙත් ඇතේ
සේනා පසු පසින් යතේ
නීතිය උඩ දමන දෙසේ
කට බලියං බලන් ඇතේ
චංගුමි රෑ ඇඳට එතේ
උයා පිහා කවනු ඇතේ
බඩු මිල හඳ දෙසට ඇදේ
ජහමනයට ගණන් නැතේ
පිස්සු යක්කු බලයේ ඇතේ
උන්ගේ මළු පිරෙනු ඇතේ
උගේ දරුවන් සූර් වෙතේ
ජොලියට වලි දමනු ඇතේ
රට වලටම තවත් යතේ
ඒත් ඉතිං කමක් නැතේ
ලොවෙම උතුම් රටක් ලෙසේ
නමක් දමන් සතුටු වෙතේ!
උත්සව සමය…
සේරිවාණිජලාට හරියට බිස්නස්….
කච්ඡපුටලා ළඟින් හැරී
මිනිසුන් දුවයි සේරිවාණිජලා ළඟට
ලොකු ලොකු ඩිස්කවුන්ට් වලට
සේරිවාණිජලා දෙස බලා
කච්ඡපුටලා, ලය පැලී පැලී දිවි ගෙවත්
මල් කෙල්ල
පිනැති දනට මඟ සිට පියුමන් විකුණු
රුවැති නුඹේ සිරි කෙලෙසද මල් වසනු
පැහැති රනින් සඳ රැස් වැටි රුව දිලුණු
තෙදැති දෙවින් නැතිදෝ ගෙපැලට වඩිනු
දුහුල් සලින් නැතිමුත් සැරසී මහරු
විසල් හැඟුම් සිරවේ හදෙ දැක පියොරු
කොපුල් නුඹේ පැරදුවේය රතු තඹරු
උපුල් මලුත් දෙවැනි වේය ඔබෙ රුසිරු
නැතේ පැතුම් මෙදසුන දැක ගන්න සිතා
සිතේ සිහින පත්විය හොඳ ගෙතූ කතා
නැතේ තවත් පෑ හසරැල් නුඹව පතා
අතේ එල්ලි දඟ කරනා නුඹේ පුතා
පරතරය…
පවුරු සැම දමා බිඳ
සතුරු බල මුලු දමා සිඳ
ඔබේ අත ගමි සිතා මම
දිරිගෙන සිතට නැඟී සිට
හාත්පස බැලූ සඳ
අහෝ සිත ගිය තරම් දුර
එක් පුටුවක පරතරය!

හරිත පෑ පත්‍ර අඟ
පිණි බිංදු රැඳි උදේ
කුරුළු මව පැටවාට
කියදෙයි ඉඟිලෙන්න
ජීවිතය සොයා!
[පින්තූරෙ-http://goo.gl/J9R2F]

එක්තරා ආදරයක පරිණාමය!

මම ඔයාට ආදරෙයි……..
මම ඔයාට ආදරේ……….
මම ඔයාට……….. ආ?!!
මම ඔයාට…………… ද?
මම ඔයාට………….. නෑ!
මට පාඩුවේ ඉන්න දෙන්න!
[පිතූරෙ-http://goo.gl/g4qzX]



